Wednesday, July 17, 2013

අභීත දියණිය ටෙලි නාට්‍යයෙන් අනතුරුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සිංහල හඬ කවා විකාශනය කරන්නේ ‘මායාවරුන්ගේ ලෝකය’ හෙවත් ‘හෝලි පර්ල් (Holy Pearl) නම් කතාවයි. ජපන් ටෙලි නාට්‍යයක් වූ ඔෂින් ජනප්‍රියවීමත් සමග රූපවාහිනී සංස්ථාව තවත් ජපන් ටෙලි නාට්‍යයක් සිංහලයට හඬ කවනු වෙනුවට කළේ ‘ඩා චැන්ග් ගියුම්’ යන කොරියානු ටෙලි නාට්‍යය ‘සුජාත දියණිය’ නමින් සිංහල හඬ කවා විකාශනය කිරීමය. එයට ලැබුණු අධික ප්‍රතිචාර හේතුවෙන් ඔවුහු තවත් කොරියානු ටෙලි නාට්‍යයක් වූ ‘දොංග් යි’ සිංහලයට හඬකවා ‘අභීත දියණිය’ නමින් විකාශනය කළහ. එයට ද ලැබුණු අසීමිත ප්‍රතිචාර නිසා බොහෝ දෙනකු සිතුවේ මින් පසුව ද තවත් කොරියානු ටෙලි නාට්‍යයක් විකාශනය කරනු ඇති බව ය. මන්ද Mayawarunකොරියානු නිර්මාණ මෑත කාලයේ අප රටේ බෙහෙවින්  ජනප්‍රිය වීම නිසාය. අනෙක එය බෞද්ධ රටක් වීමත් අප රටේ සෑහෙන පිරිසක් කොරියාවේ රැකියාවල නිරතවීමත් නිසා කොරියානු සංස්කෘතිය සෑහෙන දුරකට අප අතර ජනප්‍රිය වෙමින් පවතී. කොරියන් බස ඉගෙනීම පිළිබඳ විශේෂ උනන්දුවක් ද අප බොහෝදෙනකු තුළ තිබේ.   නමුත් රූපවාහිනී සංස්ථාව කිසිවකු නොසිතු පරිදි මෙවර තෝරා ගත්තේ මෙම කලාපයේම තවත් බෞද්ධ රටක් වූ චීනය නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයකි. හෝලි පර්ල් හෙවත් ‘මායාවරුන්ගේ ලෝකය’ යනු එයයි. 
මෙය අප මතෛක් නැරඹූ ජපන් හෝ කොරියානු ටෙලි නාට්‍යවලට වඩා අමුතුම ආරක් ගත් එකක් බැව් පෙනේ. 2011 වසරේදී චීනයේ මුලින්ම විකාශනය කරන ලද මෙය වර්තමානයෙන් අතීතයට ගමන් කරන තරුණියක් වටා ගෙතුණු කතාවකි. එබැවින් මෙය අත්භූත සිදුවීම්වලින් සමන්විත විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන වූ ටෙලි නාට්‍යයකි. මෙය ජපන් කාටූන් සඟරාවක පළවූ. රුමිකෝ තකාෂි විසින් නිර්මාණය කරන ලද ‘ඉනු යාෂා’ නම් කතා මාලාවේ නිල නොවන පරිවර්තනයක් ලෙස ද හැඳින්වේ. ඔෂින්, සුජාත දියණි, අභීත දියණිය යන ටෙලි නාට්‍යයන් හි තේමාවන් යථාර්ථවාදී වන අතරේ මායාවරුන්ගේ ලෝකය එක්තරා  අන්දමකින් අද්භූතවාදී තේමාවක් වටා ගෙතුණු ටෙලි නාට්‍යයකි. 
කතාවේ සාරාංශය මෙලෙසිනි,
වසර ගණනාවකට පෙර චීනයේ ‘ෂියෑන් යූ’ නමින් දෙවඟනක් මිනිස් වෙසක් ගෙන සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරමින් ඔවුන් අතරම ජීවත් වූවාය. ඒ නිසාම ජනතාව ඇයට බොහෝ සෙයින් ආදරය කරන්නට පටන් ගත්හ. රජතුමා ද ඇයට බොහෝ සෙයින් ආදරය කළේය. ඇයට ‘ටෙංග්ෂේ’ නමින් සොයුරියක් සිටියේය. ඇයද ‘මෝ-යින්’ නමින් සාමාන්‍ය ජනතාව අතර ජීවත් වූ දෙවඟනකි. නමුත් සිය සොයුරිය වූ ෂියෑන් යූ කෙරෙහි මිනිසුන් දැක්වූ ආදරය පිළිබඳ ඇය පසු වූයේ තදබල ඊර්ෂ්‍යාවකිනි. ඒ නිසා ඇය සිය සොයුරිය මරා දැමීම සඳහා සැලසුමක් දියත් කළාය. මේ සඳහා ඇය උදව් උපකාර ඉල්ලන්නේ යක්ෂ නායකයකු වූ ‘ෂි යූ මින්ග්’ ගෙනි. මෙම ක්‍රියාව නිසා දේව - මිනිස් හා යක්ෂ ලෝක අතර තිබූ සමබරතාවයට හානියක් සිදුවෙයි. මන්ද යක්ෂයකු හා දෙවඟනක් අතර ඇතිවූ සම්මුතිය නිසාවෙනි. 
ඒ එහි අතීත කතාවයි. නමුත් මේ කතාව දිවෙන්නේ වර්තමානයේ සිටය. වර්තමානයේ මෙහි කතා නායිකාව වන්නේ ‘ඩින්ග් යාඕ’ ය. ඇය චීන සුප්‍රකට පුරා විද්‍යාඥයකුගේ දියණියකි. ඔහු සිය දියණියගේ ආරක්ෂාව තකා නිතර ළඟ තබාගන්නා ලෙස පවසා මැටිවලින් තැනූ කුඩා පිළිමයක් තිළිණ කරයි. මෙයද කෞතුක  වස්තුවකි. 
ඩින්ග් යාඕ යනු ‘ෂියෑන් යූ’ ගේ නැවත ඉපදීමක් බැව් කිසිවෙක් දන්නේ නැත. ඇය ද සිය පියා මෙන්ම ඉපැරණි දෙයට ඇලුම් කරන ඉතිහාසය හදාරන   සාමාන්‍ය තරුණියකි. ඇය සිය පියාගේ වැඩ කටයුතුවලට උදව් කරමින් සිටිද්දී ඔහුගේ පුරා වස්තු අතර තිබි ඉපැරණි නවග්‍රහ චක්‍රයක් හමුවෙයි. මෙම නවග්‍රහ චක්‍රය  සතුව තිබූ කුඩා මැටි පිළිමය සමග යම්කිසි ප්‍රතික්‍රියාවක් සිදුවී මෙය අහම්බෙන් මෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගනී. ප්‍රතිඵලය වන්නේ ඇය වසර 3500ක් කාලය ඔස්සේ අතීතයට ගමන් කිරීමය. ඇගේ ගමන නතර වන්නේ ගල් ගුහාවකිනි. අතීතයට ගමන් කළ පසු ඇගේ නම වන්නේ ‘නෑන් යූ’ ය. 
ඇය තහනම් ප්‍රදේශයක සිටි බව කියමින් රාජ පුරුෂයින් ඇය අල්ලා මරණ දඬුවම දෙන්නට සියල්ල සූදානම් කරයි. නමුත් මේ අවස්ථාවේදී රජු එතැනට පැමිණෙයි. ඇගේ පෙනුම “ෂියෑන් යූ’ට අතිශය සමානකමක් දක්වන නිසා රජු සිතන්නේ මේ ඇයම බවයි. එබැවින් ඇය මරණ දඬුවමින් ගලවා මාලිගයට කැටිව යයි. මාලිගයට ගිය පසු රජු ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරයි. ඇය එම යෝජනවාට අකමැති බැවින් මාලිගයෙන් පලා ගොස් ඇය මුලින්ම සිටි සොහොන් ගැබේ සැඟවෙයි. මෙම ගල් ගුහාවේ ෂියෑන් යූ විසින් සිරගත කොට නින්දකට පත්කරන ලද අර්ධ මිනිස් - අර්ධ යක්ෂයකු වූ ‘වෙන් ටියෑන්’ සිටිනා බැව් ඇය දන්නේ නැත. ඩින්ග් යාඕ අතින් අත්වැරදීමකින් ඔහුගේ නින්ද බිඳෙයි. තමා ඉදිරියේ සිටින්නේ ෂියෑන් යූ බැව් මුලින්ම වරදවා වටහා ගන්නා ඔහු, ඇය කළ ක්‍රියාව පිළිබඳ කෝපයට පත්වී ඇයව මරා දමන්නට සැරසෙයි. නමුත් පසුව ඔහු සත්‍යය අවබෝධ කරගනියි. මේ අතරේ ඩින්ග් යාඕ රැගෙන යන්නා වූ මැටි බඳුන් අතරට අද්භූත ලෙස යක්ෂයන් අරක් ගත් මල් බඳුනක් පැමිණෙයි. මෙය රජ මාලිගයේ තිබූ මල් බඳුනක් බව ඇයට මතක වෙයි. එසැනින්ම ඇය මෙම බඳුන වීසි කරයි. එවිට මල් බඳුන බිඳී ගොස් ශුද්ධ වූ මුතු ඇට දොළසක් බවට පත්වී එතැනින් අතුරුදහන් වෙයි. ශුද්ධ වූ මුතු ඇට සියල්ල එක් කොට මෙමබඳුන යළි තිබූ තත්වයට පත් නොකළහොත් මහා විනාශයක් සිදුවන බැව් දැනගන්නා ඇය වෙන් ටියාන් ගේද උදව් ඇතිව එය සිදු කරන්නට සැලසුම් කරයි. මිනිස් - දේව - යක්ෂ ලෝක තුන අතර සමබරතාවය ඇති කරන්නට නම් ඇය මෙය කළ යුතුම බැව් ඇය වටහා ගනියි. 
ඇයට සිය අරමුණ කරා පහසුවෙන් ළඟාවන්නට හැකි වේද ? ඔබත් මාත් ඉදිරියේ ඇත්තේ එයයි. මෙයට පිළිතුර සොයන්නට නම් ඔබ ‘මායාවරුන්ගේ ලෝකය’ නැරඹිය යුතු ය. 
මෙහි ප්‍රධාන චරිතය වූ ඩින්ග් යාඕ ගේ චරිතයට පණ දෙන්නේ ජනප්‍රිය චීන නිළියක වන ‘ගිලියන් චුන්ග්’ ය. අධ්‍යක්ෂණය ‘කායි ජින්ග් ෂෙන්ග්’ ය. නිෂ්පාදනය ‘ෂවු ලී’ ය. ගිලියන් සමග ‘පර්බා රග්යාල්’, පැට්‍රික් ටෑම්’ සහ ‘ගුඕ ෂෙන් නි’ යන ශිල්පීහු ද ප්‍රධාන චරිතවලට එන ‍පොවති. 
මෙය චීනයේ විකාශනය වූයේ කොටස් 36 කිනි. 
සුපුරුදු ආදර කතාවලට වඩා වෙනස් තේමාවක් ඔස්සේ දිව යන මෙය ද පෙර ටෙලි නාට්‍යයන් සේම ඉක්මනින්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනු ඇතැයි සිතිය හැක. ඇතැම් විට මෙයට නව ප්‍රේක්ෂක පිරිසක් එකතු වන්නට ඉඩ තිබේ. ඒ අද්භූත රසය ප්‍රිය කරන රසිකයන් ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක
උපුටගනිමක් 
ලෝකය මානුෂීය ප්‍රේමයේ කැඩපතක්
ඔෂින්, සුජාත දියණි, අභීත දියණිය යන ටෙලි නාට්‍යයන් හි තේමාවන් යථාර්ථවාදී වන අතරේ මායාවරුන්ගේ ලෝකය ...
මනුදම් උයනේ කුමරියනේ...
මෙතෙක් ආ ගමනේ මතක සටහන්....
ඔශීන්,සුජාත දියණිය ,අභීත දියණිය ඔබ වෙත ගෙන ආ ජාතික රූපවාහිනී මීලග මෙහෙයුම :- සී.සී.ටී.වී නාලිකාව මගින් චීනයේ 2011 වර්ශයේදී විකාශනය කරන ලද චීනයේ මිත්යා විශ්වාසයක් පදනම් කොට ගනිමින් නිපැදවුනු අගනා නිර්මානයක සිංහල භාශා පණ පෙවුම:- " මායාවරුන්ගේ ලෝකය.

මායාවරුන්ගේ ලෝකය මානුෂීය ප්‍රේමයේ කැඩපතක් අතුල රන්සිරිලාල් චීනයේ CCTV ආයතනයේ නිෂ්පාදනයක් වන ‘හෝලි පර්ල්’ (Holy Pearl) වැඩසටහන් පෙළ, සිංහල දෙබසින් රසවත් කර ‘මායාවරුන්ගේ ලෝකය’ නමින් ජාතික රූපවාහිනියේ දිග හැරීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතියි. ප්‍රවීණ හඬ ශිල්පීන් සියයකට වැඩි ගණනකගේ හඬින් හැඩ ගැන්වී තව නොබෝ දිනෙකින් ඔබ හමුවට එන මායාරුන්ගේ ලෝකය පිළිබඳ, එහි හඬ කැවීම් මෙහෙයුම් හා සකසූ අතුල රන්සිරිලාල් සමඟ කළ කතා බහයි මේ. ඇයි මේ හදිසියේ ‘මායාවරුන්ගේ ලෝකයක්...’ ”තව කෙටි කාලෙකින් ‘අභීත දියණිය’ අවසන් වෙනවා. ජාතික රූපවාහිනිය වටා රැස්වූ සුවහසක් ප්‍රේක්‍ෂක ජනතාවට තිබුණාට වඩා හොඳ දෙයක් දිය යුතුයි. එය අතිශය වෙනස් දෙයක් විය යුතුයි. සුජාත දියණී සහ අභීත දියණී කතා දෙකම කොරියන් නාට්‍ය. නමුත් ඔබට හිතා ගන්නවත් බැරි මේ මායාරුන්ගේ ලෝකය චීනයේ අති දැවැන්ත නිර්මාණයක්. එය 2011 වසරේ චීනයේ කේබල් ටී.වී. ඔස්සේ විකාශය වූයේ අතිවිශාල ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලබමින්. කොරියන් නාට්‍ය දෙකකට පස්සෙ චීන නිර්මාණයක් තෝරා ගත්තේ විශේෂ හේතුවක් ඇතිවයි.” මොකක් ද ඒ හේතුව? ”ඒ ආසියානු සංස්කෘතිය තුළ ගොඩනැඟුණු විද්‍යා ප්‍රබන්‍ධ කතාවක් නිසා. චංගුමීලගේ් දොංයිලාගේ සුන්දරත්වයට ඒ අපූරු සිදුවීම්වලට... රූප රාමුලට වශීකෘත නොවුණෙ කවුරුද... පළමුව පුංචි දරුවෝ. දෙවනුව වැඩිහිටියන්. එතෙක් ටෙලිවිෂන් කලාවේ ඇමෙරිකානු සංස්කෘතියට හුරු වූ එනම් ගහන – මරන-වෙඩි තියන නාට්‍ය චිත්‍රපට හුරු පිරිසකට ආසියානු සංස්කෘතිය හුරු කිරීම මුලින් අපිට අභියෝගයක් වුණා. ඒත් ඔෂීන්ගෙන් පටන්ගෙන සුජාත දියණී – අභීත දියණී දක්වා ඒ ගමන ආවේ බොහොම පරිස්සමට. ඉතා සාර්ථකව.’එක් අතෙකින් විද්‍යා ප්‍රබන්‍ධ කතාවක් තෝරා ගැනීම අභියෝගයක් කියා කෙනකුට සිතන්නට පුළුවන්. නමුත් ඔය කිසිම ‍ෙදයක් මට අභියෝගයක් නෙවෙයි. අනෙක් නාට්‍යලටත් වඩා මේ නාට්‍යය ප්‍රේක්‍ෂකයන් වැලඳ ගනීවි. අනෙක චීනය කියන්නෙ ටෙලි නාට්‍ය කලාව අතින් අපිට හැරෙන්නවත් බැරි තරමෙ ඉහළින් ඉන්න රටක්. එවැනි රටක, ටෙලිනාට්‍ය කලාව අපිට විඳීන්න ලැබෙන අනර්ඝ අවස්ථාවක් මේ. ඒ වගේම, කිසිම මනුෂ්‍යයෙක් ටෙලිවිෂන්කරුවෙක් නෙවෙයි. ඔහුගේ විඥානයෙන් තමයි ටෙලිවිෂන් කලාවේ හොඳ නරක තෝරා ගන්නේ. ටෙලිවිෂන් කලාවේ මා දන්නා එකම දේ තමයි, මිනිසුන්ට හරි දෙයක් හොඳ දෙයක් දුන්නොත් ඒ අය පිළිගන්නවා කියන එක.” ඒත් ඒ කතා දෙක – තුනේම තිබුණේ සුන්දරත්යට යටින් ගලා ගිය ප්‍රේමය... ”ඔබ හිතන්නේ මායාරුන්ගේ ලෝකය තුළ ඔය දැකපු සුන්දරත්වය, ප්‍රේමය නැහැයි කියලද... ඒ සියලු දේට අමතරව ඔබ කිසිදා නුදුටු ලොවක අපූර්වත්යක් විස්මිත බවක් මායාරුන්ගේ ලෝකයේදි ඔබේ ඇහැගැටේවි. අනික චංගුමීලා - දොංයීලගේ කතාවලින් ප්‍රකාශ වුණු ආදරය ප්‍රේමයේ තිබූ මනුෂ්‍යත්වය මතකද... රජතුමාවත් දොංයීවත් ඒ ප්‍රේමය තුළ උන්මත්තකයො නෙවෙයි. ඔවුන්ගේ ප්‍රේමය කුඩා ළමයකුට වුවත් තේරුම් යන බොහොම මානුෂීය ප්‍රේමයක්. ඒ ආදරය, ප්‍රේමය තුළ තිබෙන්නේ එකිනෙකා වෙනුවෙන් වැය වීම. කැපවීම. පරිත්‍යාග වීම. අද තරුණ දරුවන්ට තේරුම් නොයන උතුම් මානුෂීය ප්‍රේමය, මේ කතන්දරවලින් අපි රටටම කියා දුන්නා. ඒකයි මේ කතන්දර මේ තරම් ජනාදරය දිනා ගත්තේ. ප්‍රේමය විකෘති කර කාමයට තල්ලු කිරීම නෙවෙයි, ප්‍රේමය තුළ කළ හැකි උතුම් දේ පිළිබඳවයි මේ සියලු නිර්මාණ හරහා ප්‍රකාශ වන්නේ.” මෙහි හඬ කැවීම් ඔස්සේ අපට ඇහෙන්නෙ සුපුරුදු හඬ සමූහයමද... ”කිසිසේත් නැහැ. පෙර කතාවල ඔබට ඇහුනු හඬවල් කිසිවක් මෙහි නැහැ. අලුත්ම කටහඬවල් රැසක් තමයි මායාරුන්ගේ ලෝකයේදී ඔබට මුණගැසෙන්නේ.” මෙය විකාශය වන්නේ... ”ජූලි මස මුල සතියේ පටන් දින පහේම රාත්‍රි 6.30 සිට 7.30 දක්වා සුපුරුදු වෙලාවේදී. අනික මේ නාට්‍යය මාස දෙකකින් හමාර වනවා. ඉන්පසු ඔබ වෙත ගෙන එන්නේ ඊටත් වඩා අපූරු නාට්‍ය මාලාවක්.” උපුටාගැනීම http://www.silumina.lk/2013/06/30/_art.asp?fn=av1306304